Monday, September 1, 2014

දරු දුකද භව දුකද​....




මට අද බුකියේ හෝ ගාල පබ්ලික් වෙන පොස්ටුවක් දැකල සෑහෙන්න කලකිරීමකුත් එක්ක දුකකුත් ඇතිඋනා. මේ සිද්දිය අද සමාජෙ වෙලා තියන වෙනස්කං එක්ක කොච්චර ඇලිල තියනවද කියලත් හිතුන​.

පලාත මං හිතන්නෙ කිරම​ පැත්තෙද කොහෙද​. බොහොම දුප්පත් තාත්ත කෙනෙක්. හුගක් දුක් මහන්සි වෙලා දරුවො උස් මහත් කරල​. පවුලෙ බාල පුතා පොලීසියට බැදෙනව​. ඔහොම යද්දි හදිස්සියෙම ඇක්සිඩන්ට් එකක් වෙලා පුතා මැරෙන්ව​. මේ දුක තාත්තට කොහොමවත්ම උහුලගන්න අමාරුයි. නමුත් කොහොමහරි පුතාගෙ අවසාන කටයුතු කරනව​.

මැරුණත් පුතාගෙන් වෙන් වෙන්න මේ අහිංසක තාත්තා කැමති නැහැ. ගෙදර මිදුලෙම හදනව පුතාගෙ සොහොන​. අතේ මිටේ හිගකම තිබුනත් බොහොම ලස්සනට පුතාගෙ සොහොන හදල ඒකට වහලෙකුත් ගහනව​. ඒ විතරක් නෙවෙයි. මැරුණත් පුතාව තනිකරන්න අකමැති නිසා හැමදාම රෑට තාත්ත නිදියන්නෙ පුතාගෙ සොහොන උඩ​.

ඉස්සර බුදු හාමුදුරුවන්නෙ කාලෙ ඉපදුන කිසා ගෝතමී ගොඩක් පිං කරල තිබුනට අපි කරල තියන පිං වල ලෙවල් එක පව් ලෙවල් එකට වඩා ටිකක් පල්ලෙ තියන නිසා අබුද්දස්ස කාලෙ ඉපදිලා ඉන්නෙ. අබුද්දස්ස කාලෙත් ටිකක් අප්සෙට් හරියක් තමා දැන් ගෙවෙන්නෙ.

පොඩි කාලේ වෙච්ච තවත් සිද්දියක් මතක්වුනා. මට සුසන්ත කියලා යාලුවෙක් හිටිය​. මිනිහට හිටියෙ අම්ම විතරක් හිංදද කොහෙද දෙන්න ගොඩක් ආදරෙන් හිටියෙ. සුසන්තය හිටිහැටියෙම අසනීප වෙලා සෙල්ලං කරන්නවත් එන්නෙ නැතුව ගියා. අසනීපෙ ලියුකේමියාව​. හිතුවටත් වැඩිය ඉක්මනට සුසන්ත නැතිවුනා. මේක ඒ අම්මට දරාගන්න බැරිවුනා. අම්මෙක් ඒ තරම් දරුවෙක් වෙනුවෙන් හැපිල අඩනව දැක්කෙ මම එදා. පිස්සියෙක් වෙලා ආතක් පාතක් නැතුව යන්න ගිය ඒ අම්මගෙ හිත හැදුවෙ ඒ වෙලාවෙ එතනට වැඩම කරපු පන්සලේ හාමුදුරුවො.

ඊටත් කලින් වෙච්ච තවත් සිද්දියක් මට මතකයි. අසූ ගනන් වල භීෂණ කාලෙ අපේ ගමේ පලවෙනි කොල්ල මරල දාල ගමේ බස් හෝල්ට් එකේ එල්ලල තිබ්බ​. නම නීලසිරි. අපි හැමෝම බලන්න ගියා. කට ඇරිලා ඇගිලි ඇබරිලා ඇස් දෙක එලියට පැනල මැරිල හිටිය තමුන්නෙ පුතා දැකල ඒ අම්මයි තාත්තයි වැලපි චැලපි ඒ හෝල්ට් එකේම ඔලුව ගගහ හිටියෙ. ඒ අහිංසක මිනිස්සුන්ට අනිත්‍ය ගැන කියල දීල හිත ඩිංගක් හරි හදල දෙන්න එදත් හාමුදුරුවො හිටිය​.

ඉස්සර හාමුදුරුවො හොදයි. නමුත් දැන් හාමුදුරුවො හොදා₋₋යි. ඒ කාලෙ වගේ ගමේ පොඩි මිනිහගේ මයිනර් කේස් වලට වෙලාව නැහැ. දැන් තියෙන්නෙ ජාතික පුරස්න​. BBS හරි RB වගේ සංවිධානෙක ඉන්න එක ඔය පොඩි පොඩි කේස් වලට වඩා නම්බුකාරයි වගේම පිං වැඩියි. අනික​ අර සෑහෙන කාලයක් නිදාගෙන ඉන්න රාවණා රජ්ජුරුවො වගේ කෙනෙක්ට කෘතිම ශ්වසනය කරනව කියන්නෙ එසේ මෙසේ ජාතික මෙහෙවරක්ද​. ඇහැරව ගත්තොත් කාටද​. අපිටනෙ.....

කරපු කතාව පොට පයින්න එනව වගේ නිසා අර අහිංසක තාත්තගෙ කේස් එකට බහිනව​. තමන් හදා වඩාගෙන ලොකු මහත් කරපු දරුව තමුන්ට ඉස්සරවෙලා වල පල්ලට යනව තරම් වෙන දුකක් දෙමාපියන්ට නැහැ. ඒක ඇත්ත​. නමුත් දැන් ඒ තාත්ත කරන වැඩේ අනුමත කරන්න බැහැ. ඒ මනුස්සය කරන ඔය බරපතල වඩේ ගැන තේරුම් කරල දෙන්න හාමුදුරුකෙනෙකුට ඇරෙන්න වෙන කෙනෙකුට අමාරුයි. ඔය පලයක් නැති කුණු ශරීරයක් උඩ නිදියනකන් තාත්තගෙ දුක අඩුවෙන්නෙ නෑ වගේම මැරිච්ච තමුංගෙ පුතාගෙ ආත්මෙටත් ඔතනින් ගැලවෙන්න ලැබෙන්නෙ නැහැ. අනික සොහොන තියෙන්නෙ ගෙයි මිදුලෙ. ඔය ගෙදර මිනිස්සු පවා ඔතන ඉන්න නිසා ආසාව කියන බැදීම වැඩිවෙන්න වැඩිවෙන්න නිකන් නිස්කාරනේ පුතා අමනුස්ස ආත්මයක් ලබනවා.

මෑතකදි කියවපු අටමගේ පෝස්ට් එකක් තියනව "පිරිකර ඇරුනහම ලියුං කවර ටිකකුත්" කියල​. අද කාලෙ පන්සලක තත්වෙ ඕකෙන් නියමට විග්‍රහ කරල තියනව​. සංඝ රත්නෙට ගරහන්න එපා කියල කට්ටිය කීවත් ඕකට යමක් නොකලොත් අපිට හිතුවටත් වඩා ඉක්මනිම නිවන් යන්ඩ පුලුවන් වෙයි කියල හිතෙනව​.


4 comments:

  1. මේ අසරණ මනුස්සයාට බුදුදහමෙන් පිළියම් වගේම මානසික ප්‍රතිකාරත් අවශ්‍ය වෙලා ඇති බව දැනෙනවා,face book නඩය නම් මේ අසරණ මිනිසා දෙවියෙක් කරලා තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඕක ඔය මනුස්සය ගේ ලග සොහොන හදන්නත් කලින් වලක්කන්න තිබ්බ දෙයක් ඇනෝ. ඕකට වග කියන්න ඕනෙ තමුංගේ යුතුකම අමතක කරපු ගමේ හාමුදුරුවෝ
      කියලයි මට හිතන්නෙ. පන්සල් වලින් මිනිස්සු ටික ටික ඈත් වීමත්ටත් හේතුව ඕකයි.

      Delete
  2. දරු දුක තරම් දුකක් තවත් මේ ලෝකේ නෑ මම හිතන්නේ. කවදාවත් තමන්ට කලින් දරුවෙක් මැරෙන්න දකින්න කාටවත් සිද්ධ නොවෙනවානම් තමා හොඳ. ඒත් ඉතින් අර කියපු කතාවත් ඇත්ත. එහෙම දෙයක් උනාට පස්සේ ඒ ගැන යතාර්ථය තේරුම් ගන්න වෙනවා.

    අලුත් බ්ලොග් එකක් නේද? මාත් ආවා ඔන්න බලන්න. ජය වේවා කියලා පතනවා.

    ReplyDelete
  3. බොහොම ස්තූතියි සයුරි. ආයෙත් එන්න​.

    ReplyDelete